29.3 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeGossipW15 හෝටලයට වෙඩිතැබීම තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

W15 හෝටලයට වෙඩිතැබීම තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා විසින් බව ඒම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා මහතා අද (11) ප්‍රකාශ කළේය.

ඒ, වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ඔහුට එරෙහිව ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ අද සිව්වැනි දිනටත් පෙනී සිටියේය.

එහිදී, 24 වැනි සාක්ෂිකරු ලෙස නම් කර ඇති දැනට වැඩතහනමකට ලක්ව සිටින කොළඹ අපාරධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා මහතාගෙන් කමිටුව ඉදිරියේ සාක්ෂි විමසමින්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රශ්න කළේ, නඳුන් චින්තක නොහොත් හරක් කටා පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට නියෝගයක් ලැබුණේද යන්නය.

ඊට පිළිතුරු ලෙස ඈන්ස්ලම් ද සිල්වා මහතා මෙලෙස සඳහන් කළාය.

“2023 දෙසැම්බර් 30 වැනිදා, එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මට එන්න කිව්වා නිලධාරීන් කණ්ඩායමක් සමඟ වැලිගමට යන්න. එහි හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් තිබෙන බවත්, එම ස්ථානයට ගොස් තාප්පයට සහ නම සඳහන් බෝඩ් එකට වෙඩි තබා එන ලෙසත් කිව්වා. ඒ සඳහා පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ මම. වෙඩි තැබුවාට පස්සේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා. එහෙම ඉස්සරහට යනකොටම තවත් වෙඩි සද්දයක් ඇහුණා. එතකොට අපි දැක්කා අපිත් එක්ක ගිය උපුල් කියන නිලධාරියා වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. මම එතකොටම මා සමග සිටි අයට ‘ඉක්මණට පලයන්’ කියලා කිව්වා. එතන STF එකේ 20ක් විතර හිටියා බස් එකක. ඒ බස් එක ස්ටාර්ට් වෙන්න පරක්කු වුණ නිසයි අපිත් අද ජීවතුන් අතර ඉන්නේ. නැත්නම් උපුල් එක්ක අපිත් මැරිලා.

ස්වාමීනි නෙවිල් ද සිල්වා අපිට කළේ බොරුවක්. අපි වෙඩි තියන්න යන එක වැලිගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථානවලට දැනුවත් කරලා තිබුණා කියලයි ඔහු අපිට කිව්වේ “

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී ප්‍රශ්න කළේ, දේශබන්දු මේ ගැන ඔයාලගෙන් විමසුවාද? යන්නය.

“නැහැ” යනුවෙන් ඈන්ස්ලම් ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නේය.

එවිට, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා,

” මරණ පරීක්ෂණය සිදුකරන වෙලාවේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණයේදී ඔබ සඳහන් කරලා තියෙනවා තුන්වැනි පාර්ශ්වයක් වෙඩි තිබ්බා කියලා. එතකොට මේ කතාව කවුද නිර්මාණය කළේ?” යනුවෙන් විමසීය.

“සිද්ධියෙන් පස්සේ නෙවිල් ද සිල්වා වැලිගමට ආවා. මේ විදියේ කතාවක් කිව්වොත් අපිට අවුලක් නැතිවෙයි කියලා කිව්වා. ඒ අනුව තමයි අපි මේ කතාව අධිකරණයට කියමු කියලා සාමූහික ස්ථාවරයකට ආවේ. ඒ නිසා අපි කතාව ඒ විදිහට කිව්වා. මරණ පරීක්ෂණයේදිත්, මහේස්ත්‍රාත් අධිකරණයේදීත්, පළමු වරට ප්‍රකාශ ලබාදීමේදී අපි කිව්වේ නිර්මාණය කළ කතාවක්. අපිට තේරුණා මේ ප්‍රශ්නය දිගටම යනවා කියලා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණයට ගිහින් මම ඇත්ත කතාව කිව්වා” යනුවෙන් ඈන්ස්ලම් ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නේය.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එස්.වීරවික්‍රම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.

“වැලිගම W 15 හෝටලයට වෙඩි තබන්නැයි නියෝග ලබාදුන් විටත් දණ්ඩ නීති සංග්‍රහය අනුව කිසිම දේපළකට වෙඩි තියන්න බැහැ කියලා පොලිස් නිලධාරියෙක් විදියට ඔබ දැනසිටියේ නැද්ද ?

“අපි දැනුවත්ව තමයි ඒ දේ කළේ. නෙවිල් ද සිල්වා මහතාගේ නියෝගයක් නිසා අපි වරදක් කරන්නේ කියලා දැන දැනම මේ දේ කළා.”යනුවෙන් පිළිතුරු ලබාදුන්නේය.

එහිදී නිතිඥවරයා විමසා සිටියේ, “නීති විරෝධී නියෝගයක් විට ඇයි ඒ බව පොලීසියේ ප්‍රකාශ සටහන්වල නොලිව්වේ?” යනුවෙනි.

“ඉහළින් ලැබෙන සියලු වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා නැහැ. හැබැයි පොලීසිය ඇතුළේ ඉන්නනම් අපිට ඉහළින් ඉන්න නිලධාරින් කියන දේවල් කරන්න වෙනවා. නැත්නම් අපිට පොලීසියේ රැඳීඉන්න බැහැ” යනුවෙන් සාක්ෂිකරු පිලිතුරු ලබාදුන්නේය.

නෙවිල් සිල්වා කියන අධ්‍යක්ෂවරයාට ඉහළින් ඉන්න පොලිස්පති හෝ නිලධාරීන්ට ඇයි මේ බව නොකිව්වේ? යනුවෙන් විමසීමේදී සාක්සිකරු සඳහන් කළේ “එහෙම කිව්වත් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසයි මම කිව්වේ නැත්තේ” යනුවෙනි.

ඔබත් එක්ක වෙඩි තියන්න ගිය කණ්ඩායමේ 08 දෙනාගෙන් එක්කෙනෙක් මැරුණා. 06 දෙනෙක් විතරයි මෙතන ඉදිරිපත්වෙලා තියෙන්නේ. එතකොට අනෙක් කෙනාට මොකද වුණේ? යනුවෙන් නිතිඥවරයා සිදුකළ විමසීමට පිලිතුරු ලෙස සාක්ෂිකරු සඳහන් කළේ, ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී  විදෙස්ගතවී ඇති බවය.

එමෙන්ම, එදින වැලිගමට යෑමේදී  ව්‍යාජ අංක තහඩු දෙකක් රැගෙන ගියේ මන්දැයි සිදුකළ විමසීමට පිළිතුරු ලෙස සාක්ෂිකරු මෙලෙස සඳහන් කළේය.

“අපි ගියේ පොලීසියේ වාහනයකින්. ඒක නිසා අංක තහඩු සියල්ල සටහන් වෙනවා. ඒ නිසා අපි ව්‍යාජ අංක තහඩු දෙකක් අරන් ගියේය.

ඉහළ නිළධාරීන් අපිට ලබාදෙන තීන්දු තීරණ නිසයි මාව වැඩතහනමට ලක්වෙලා තියෙන්නේ. අද මට විශ්‍රාම වැටුපවත් ගන්න විදියක් නැහැ. අනෙක් සියලු නිළධාරීන් මේක ආදර්ශයක් කරගන්න. මේ වගේ නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් අරන් ගියත් මීට වඩා හොඳයි”

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here