කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (01) දිනයේ දී වඩාත් සක්‍රීය ස්වභාවයක් ගත් අතර රු. බිලියන 7.63 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. ප්‍රධාන වශයෙන් LOLC ෆිනෑන්ස් සමාගමේ සිදුවූ කොටස් ගනුදෙනුවක් අද දින මෙලෙස ඉහළ පිරිවැටුමක් වාර්තා වීමට හේතුවී තිබුණි. එහිදී LOLC ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 550ක්, කොටසක් රු. 6.00 බැගින් හුවමාරු වී තිබුණු අතර රු. බිලියන 3.3ක පිරිවැටුමක් එම ගනුදෙනුව හරහා පමණක් වාර්තා වී තිබුණි.
වාර්තාවන අන්දමට මෙම කොටස් ගනුදෙනුව LOLC සමූහයේ අභ්‍යන්තර කොටස් ගනුදෙනුවක් වන අතර එහිදී විදේශීය පාර්ශවයක් විසින් කොටස් විකිණීම සිදුකර ඇත. ඒ අනුව අද දින රු. බිලියන 3.43 ක විදේශීය විකිණුම් වාර්තා වන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 67ක් ලෙසින් සටහන් වේ. දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 7.56 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.19ක් ලෙසින් වාර්තා වී තිබේ.
මේ අතර ඊයේ (30) දිනයේ දී ඉතිහාසයේ පළමු වතාවට ඒකක 18,000 සීමාව ඉක්මවා ගිය සියලු කොටස් මිල දර්ශක අගය අද දිනයේ දී එම සීමාවෙන් මෙපිටට ඇවිත්, දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 17,996.73 ක් ලෙසින් සටහන් විය. එහිදී ඒකක 29.99 ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයෙන් වාර්තා වී තිබේ. S&P SL20දර්ශකය ඒකක 9.54කින් පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 5,342.97 ක් ලෙසින් සටහන්ව ඇත.
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී සමාගම් 77ක් කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබුණු අතර සමාගම් 133 ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණේය. එහිදී සිලෝන් ග්‍රේන් එලවේටර්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙන්ට්‍රල් ෆටිනෑන්ස්, බුකිට්ඩාරා සහ රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර HNB, NDB, CT හෝල්ඩිංග්ස්, CDB සහ කාර්සන්ස් කම්බබැච් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් මිල දර්ශකවලට සෘණාත්මකව බලපා තිබුණි.




